ඔබත් ඔබේම කියලා කැදැල්ලක් ගැන සිහින මවනවා නේද? ඒත් ඒක සිහිනයක්ම නොවී යථාර්ථයක් කරගන්නේ කොහොමද කියලා කියන්න හදන්නේ.
අත මිට සරු වුණත් ඉඩමක් මිලදී අරගෙන ගෙයක් හදන්න යනකොට මතු වෙන ගැටලු බොහෝයි. ඔන්න අද අපි සූදානම් වෙන්නේ ඒ ගැටලු විසඳා ගන්න ඔබට අත්වැලක් වෙන්න. හා හා පුරා කියලා ඔබ ඉඩමක් මිලදී අරගන්න ඉන්නේ කියලා හිතමුකො. දැන් බලන්න ඕන එම ඉඩම පිහිටලා තියෙන ඉඩම පිහිටි භූමිය, අවට වටපිටාව පිළිබදවම පමණක් අවධානය යොමු කරලා හරියන්නේ නැහැ.
සමහර ඉඩම් තැනිතලා, බෑවුම් හෝ කඳු වශයෙන් වුණත් තියෙනවා. අන්න එතකොට ඔබේ නිවහන ආරක්‍ෂාකාරී ලෙසින් සාදා නිමවා ගන්නේ කෙසේ ද කියා ඔබට අදහසක් ගන්න පුළුවන්. උස් බිම් වලින් නාය යෑම් ද, බෑවුම් නම් ගං වතුර ආදිය ඇතිවේද කියා සැලකිලිමත් වීමට අවස්ථාව ලැබෙනවා.
ඔබේ නිවෙස ඉදිකරන්නේ සීමිත ඉඩක නිසා සුන්දරව නිමාවට මෙවැනි බාධක ඇති නොවිය යුතුයි. ඒ නිසා කලින් දැනුම්වත් වීම හොඳයි. අනෙක් වැදගත්ම කරුණ තමයි යටිතල පහසුකම්. ඒ අතරින් ජලය ඉතාම වැදගත්. ඔබේ නිවසට ජලය ලබා ගන්නේ නළ පහසුකම් වලින්ද නැතිනම් ළිං භාවිතයෙන් ද කියා තීරණය ගැනීමට ඔබට සිදුවේවි. ළිං ජලය ලබා ගන්නේ නම් ළිඳ කැපීමට සුදුසු ස්ථානයක් සළකුණු කරන්නට ද ඕන. ඊට ප‍්‍රථම ජල ප‍්‍රවාහනය පිළිබඳ අසල්වාසීන්ගෙන් විමසීම ද යහපත්. ළිඳක් කැපීමට ප‍්‍රථම පස් වල ස්වභාවය, සරවත් පොළවක් ද කියා අවධානය යොමු කිරීම වැදගත්.
අනෙක තමයි පාරේ ගලා යන වතුර නිවාසය පිහිටි භූමියට ගලා එන්නේ ද කියා සැලකිලිමත් වීම ගැන අවධානයෙන් සිටීම හොඳයි. නිවාස භූමිය පාර මට්ටමට වඩා ඉහළින් තිබීම හොඳයි. එවිට වැසි ජලය එකවර භූමියට නොපැමිණෙන නිසා වැසි කාලයට වුවත් නිවෙස යට වීමේ අවදානම මදක් හෝ අඩු වෙනවා. එසේ නැතිනම් මාර්ගය මදක් උස් කර තැනීම හොඳයි.
නිවෙසක වටිනාකම වැඩිවීමට හා සුරක්‍ෂිතභාවයට නිරවුල් ඔප්පුවක් තිබීමත් වැදගත්. ඉඩමක් මිලදී ගැනීමට පෙර ප‍්‍රදේශයට අදාළ ප‍්‍රාදේශීය සභා කාර්යාලයෙන් තහවුරු කර ගැනීම වැදගත්. නිරවුල් ඔප්පුවක් නම් බැංකු ණය ලබා ගැනීමට පවා පුළුවනි.
එපමණක් නොවෙයි ඉදි කරන නිවස තට්ටු 3කට වඩා උස්ව ඉදිකරන්නේ නම් ගිනි නිවන ඒකකයේ අවසරය ලබා ගන්න ඕන. ඉඩමක නිරවුල් භාවය තහවුරු කර ගැනීමට නීතීඥවරයෙකුගේ සහය ලබා ගැනීම යහපත්. නිවසෙහි වටිනාකම වැඩිවෙන්න පිවිසුම් මාර්ගය වැදගත්. නිවසෙහි පිවිසුම් මාර්ගය සඳහා අවම ලෙසට අඩි 10ක් ලබා දිය යුතුයි. මාර්ගයේ පළලින් අඩි 30ක් පමණ වටප‍්‍රමාණයක් තිබෙන සේ වාහන හැරවීමට ඉඩක් ලබා දිය යුතු බව නීතියේ සඳහන්ය.
ඉඩමක සම්පූර්ණ ප‍්‍රමාණයෙන් 66.32% ඉඩක නිවස තැනිය යුතුයි. ඉතිරි භූමි ප‍්‍රමාණය ගෙවත්ත සඳහා යොදා ගන්නට හැකියාව තිබෙනවා. නිවසෙහි ඇතුලතට නිසි වාතාශ‍්‍රයක් ලැබීමටත් එය ඉවහල් වෙනවා. තනි තට්ටුවක නිවසක ආලෝකය ලැබීමේ රේඛාවක් නීතියට අනුව සම්මතව පැවතෙනවා. තට්ටු දෙකක නිවසක් නම් උඩ තට්ටුව අඩි 10ක් පමණ විය යුතුයි.
නාන කාමරය, වැසිකිළිය හා සාලය සඳහා අඩි 7ක හෝ උසක් තිබෙන්නට ඕන. තනි තට්ටුවක සිවිලිම අඩි 9කට වඩා උසින් අඩු නම් සැලැස්ම අනුමත කරන්නේ නැහැ. මෙවැනි මිනුම් නීතිය හරහා සම්මත කර ඇත්තේ ද මනුෂ්‍ය ආරක්‍ෂාව උදෙසා ය.
ඉහත කරුණු කෙරෙහි ඔබ නිරන්තර අවධානය යොමු කරන්නේ නම් සුන්දර නිවසක සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනිම පහසු වනු ඇත.
No comments:
Post a Comment